3 laws I follow to survive in corporate world
3 laws I follow to survive in corporate world
කලාකරුවෙක් ය, නවකතාකරුවෙක් ය, රචකයෙක් ය, කිය කියා මොන බයිලා ගැහුවාත්, ඒ කිසි දේකින් මට එදා වේල කාලා ඇඳලා ඉන්න පුලුවන් විදියේ ගානක් අද වෙනකල් ලැබිලා නෑ. මම ලියන කියන දේවල් වලට ලැබෙන ප්‍රතිචාරත් එක්ක බලද්දී, එහෙම දවසක් කවදාම හරි උදා වේවි කියලා හිතන්නත් අමාරුයි. අවසානෙට ලියපු නවකතාව එළියට දාගන්න කාපු කට්ට දන්නේ මම විතරයි. අවසානේ, පාවිච්චි කරපු ෆෝන් එකත් විකුණලා තමයි පොත අච්චු ගහන්න සල්ලි දුන්නේ. එච්චර කරලාත්, බෙරේ පළුවකුත් නෑ, නටපු නැටුමකුත් නෑ කියල මට තේරෙන්න, ඒ පොතේ විකිණිලා තිබුණේ පිටපත් සීයක් ද කොහෙද. විකුණුන ගාන නම් හරියටම දන්නෑ, මොකද ප්‍රකාශ සමාගමට පනස්දාහක් ගෙවන්න තියෙන හින්දා, මම ඌත් එක්ක වැඩි කතාවට යන්නෑ.කොහොම හරි කෙටියෙන් කිව්වොත් අවුරුද්දක් විතර ඔට්ටු වෙලා ලියලා, අතේ තියෙන හැම සතයක්ම දීලා එළිදැක්වූවාට ඒ පොතෙන් මට සත පහක් ලැබුණේ නෑ. රස්සාවක් තිබුණේ නැත්නම් ගිය අවුරුද්දේ සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනය කාලෙම මාත් පාරට වැටිලා.
මම කැම්පස් අවුට් වුණේ 2021 අගොස්තුවේදී. කොරෝණා වලට පිං සිද්ධ වෙන්න online interview ගිහින් පාස් වෙලා ඒ අවුරුද්දෙම සැප්තැම්බර් මට රස්සාවක් හම්බවුණා. ඒ කාලේ මට ඒක රටක් රාජ්‍යක් ලැබුණා වාගේ. කැම්පස් කාලේ ජීවත් වුණ විදියයි, විභාග ලියපු විදියයි එක්ක මම හීනෙකින්වත් හිතුවේ නෑ මට එච්චර ලේසියෙන් රස්සාවක් හම්බවෙයි කියලා. මට රස්සාව හම්බවුණේ සැප්තැම්බර් දෙක. ඒ මාසෙම හය වෙනිදා තමයි අපේ තාත්තා pension ගියේ. කොහොම හරි pension යනකොට තාත්තාට ලැබුණ පඩියට වැඩියෙන් පන්දාහක් training එකේදීම මට ලැබුණා. ඒ කාලේ මම ලෝකේ දිනුවා කියලා හිතාගෙන හිටියේ. පස්සෙ කාලෙක තමයි මට තේරුණේ පඩියකින් ජීවත් වෙන එක හරි අමාරුයි කියලා. උන්දෑ වගේ තුන් ගුණයක් විතර පඩි අරගෙන තනියම ජීවත් වෙන්න දඟලන මට අදටත් හිතාගන්න බෑ අපේ තාත්තා ඒ කාලේ කොහොම පවුලක් නඩත්තු කරාද කියලා. Anyways..... ඒක ගැන ඒච්චර හිතන්න ඕන්නෑ.ඒක වෙලා ඉවරයිනේ. මගේ රස්සාවනේ topic එක.
රස්සාවට ගියපු මුල් මාස තුනේම තිබුණේ industrial training එකක්. අපේ batch එකේ කොල්ලෝ කෙල්ලෝ විසිපහක් වගේ ඉන්න ඇති. කොම්පැණියටම විතරක් අදාළ LMS එකක, instructor කෙනෙක් ගෙන්නලා, හෙන ගානක් වියදම් කරවලා අපිට උදේ නවය- හවස හය වෙනකල්ම ඉගැන්නුවා. කැම්පස් එකේ වගේම තමයි මාසෙකට සැරයක් විභාග එහෙමත් තියෙනවා. ඔය කාලේදිත් මට corporate life එක ගැන තේරුමක් තිබුණේ නෑ, මොකද මට ඒකත් කැම්පස් එක වගේ කියලා හිතෙන්න සුපිරි යාළුවො රැලක්ම හිටියා. අපේ කැම්පස් එකේ දෙතුන් දෙනෙක්, SLIIT එකේ සෙට් එකක්, කැලණියේ, රුහුණ, සබරගමු වගේ අපේ කාලේම out වුණ කොල්ලෝ කෙල්ලෝ වගයක් තමයි batch එකේ හිටියේ. ඒ කාලේ අපි මාර fun එකේ හිටියේ. කට්ටිය කතාවෙලා trip එකක් එහෙමත් ගියා.
Training එක ඉවර වෙලා project එකකට සෙට් වුණාම තමයි මට 'අට- පහ ජීවිතේ' අවබෝධ වෙන්න ගත්තේ. 2021 දෙසැම්බර් ඉඳලා මේ වෙද්දී ගෙවිලා තියෙන්නේ අවුරුදු තුනයි. ඔය අවුරුදු තුන වගේ පොඩි කාලේ ඇතුළත අර කලින් කියාපු අතිජාත මිත්‍රයෝ බලාගෙන ඉන්නකොට වෙනස් වුණේ. ඒකට ඉතින් උන්ට වැරැද්දක් කියන්නත් බෑ. උනුත් කරේ වෙනසට හැඩ ගැහුණු එක විතරයි.
පොඩි කාලේ ඉඳන් මම හැදුනේ වැඩුනේ ගෙදරින් පිට, සම වයසේ කෙල්ලෝ එක්ක නම් කියන්න තරම් ලොකු ඇසුරක් තිබුණේ නැති වුණාට, මම සෑහෙන කාලයක් ඉඳලා කොල්ලෝ එක්ක ජීවත් වුණේ. සමාන්‍ය පෙළ,උසස් පෙළ කාලේ වැඩි හරියක් අපේ ගෙදර අම්මා තාත්තා හිටියේ නෑ, ඉන්න තරමක් හිටියේ පන්තියේ කොල්ලෝ විතරයි. කැම්පස් යන කාලෙත්, ඒ අවුරුදු ගානම මම එක එක විදි වල එවුන් එක්ක බෝඩිම් වල තමයි ජීවත් වුණේ. අඩුම ගානේ කොරෝණා වෙලාවෙවත් මම ගෙදර ගියේ නෑ.
ඔය දේවල් හින්දා මම හිතාගෙන හිටියේ, මම හැම විදියෙම පිරිමි එවුන්ව දන්නවා කියලා. උන් එක්ක ගනුදෙනුව දන්නවා කියලා.
අතින් පැත්තට ගෑණු වුණත්, පිරිමි තරම්ම නැති වුණත් මට ගැහැණු උදවිය එක්කත් හරි අසාමාන්‍ය සමාජ සම්බන්ධතා සෑහෙන්න තිබුණා.ඒක හින්දා මම ගෑණු ගැනත් තරමකට දන්නවා කියලා තමයි හිතාගෙන හිටියේ.
ඔය දෙකම වැරදියි කියලා මට තේරුම් කරලා දුන්නේ රස්සාවේ ගෑණු, පිරිමි දෙගොල්ලෝ තමයි.
ඊට කලින් මේ training කාලේදී මාත් එක්ක අපූරුවට හිටපු එවුන් හිතාගන්න බැරි වැඩ කරන්න ගත්තා. උන්ගේ මනස මේ බලාගෙන ඉද්දින් වෙනස් වුණා.
සමහර එවුන්ගේ ජීවිතේම රස්සාව. උන්ට තමයි corporate slave කියන්නේ කියලා මට පස්සේ තේරුණේ. Reporting manager කරපන් කියලා කිව්වොත් උන් පාරේ හෙලුවෙන් හරි දුවයි. දවාලක් රැයක් නැතුව උන් රස්සාවේ වැඩ. උන් මාර බයක ජීවත්වෙන්නේ. මට හිතාගන්න බැරි pressure එකක් උන්ට තියෙන්නේ. උනුත් මේ මම කරන වැඩේම තමයි කරන්නේ. ඒ උනාට උන් ඒක මාර විදියට ඔලුවට අරගෙන ඉන්නෙ. එක පැත්තකින් බලපුවාම කන්න, අදින්න, ජීවත් වෙන්න කීයක් හරි හම්බවෙන එකම මාර්ගේ රස්සාව හින්දා ඒකට දෙයියන්ට වගේ සලකන එකට උන්ගේ වැරැද්දකුත් නෑ.
ඉස්සර එළකිරි එකේ හිටපු සමහර එවුන් බලාගෙන ඉද්දින් කේලම්කාරයෝ, වල්පල් දොඩන එවුන් වෙන්න ගත්තා. මාත් එක්ක එකෙක්ට බනිනවා, ඌත් එක්ක මට බනිනවා. බොසා එක්ක අපි දෙන්නාටම බනිනවා. Promotion එකක් increment එකක් ලයින් වෙනවා නම් ඌ අම්මා තාත්තා හරි විකුණයි. ඒ වගේ උන්ටත් ඉතින් බැනලා තේරුමක් නෑ. උනුත් කරන්නේ survive වෙන එකනේ. කැම්පස් එකේ විභාගෙට පනහෙන් උඩ ගත්තොත් හැමොටම C+ එකක් දුන්නට, රස්සාවේ උඩට යන්න වෙන්නේ අනිත් උන් පහලට තල්ලු කරොත් තමයි කියලා උන්ට තේරුම් යන්න ඇති.
සමහරු හිටියා මට වගේම ඔය වෙනස තේරුණ, හැබැයි උන් ඒක දිහා බැලුවේ political view එකකින්. සමාජ භේදය, ධනවාදය වගේ මහා ලොකු වචන කියාගෙන union හද හදා එකම විකාරයයි. උන්ගෙත් කිසිම වැරැද්දක් නෑ. උනුත් උපරිම උත්සාහ කරේ, corporate brainwash එක නවත්තන්න.
පොඩි පිරිසක් ඉතුරු වුණා, corporate life එකට හැඩගැහෙන්න අකමැති වෙච්ච උන්. මම වගේම කැම්පස් කාලේ, තරුණ කාලේ, තිබුණ fresh, මෝඩ, අහිංසක, සරළ හිතුම් පැතුම් එක්ක ජීවත් වෙන්න හදපු. හැබැයි ඒ එකෙකුටවත් corporative ජීවිතේ වැඩි ආයුශ තිබුණේ නෑ. ඒ හැම එකෙක්ම වාගේ කලින් කියපු තුන් විදිහේ එවුගේ ගොදුරු වුණා.
රස්සාව ගහලා යන අවස්ථා දෙක තුනකටම මූණ දුන්නාට පස්සෙ තමයි මට තේරුණේ මම මේ ජීවත් වෙන්නේ ඉස්සර හිටපු ලෝකේ නෙවෙයි කියලා. ගෙදරින් එවන සල්ලි වලින් කාලා බීලා, රටේ ලෝකේ මොනවා වුණත් අදාල නැති, මම වගේම හිතන පතන එවුන් එක්ක, මට කැමති විදියකට ජීවත් වුණ සුන්දර කැම්පස් කාලේ නෙවෙයි, මම ඉන්නේ උදේට වැඩිපුර කෑවොත් රෑට කන්න සල්ලි නැති වෙන, රට සමාජේ එක්ක ගැටිලා, හිතාගන්න බැරි සත්තු එක්ක ජීවත් වෙන corporate ලෝකෙක කියලා.
ඒක හින්දා තමයි මම, මටම නීති කිහිපයක් හදාගත්තේ.
Law 1.
ගෙවන වෙලාවට විතරක් වැඩ කරපන්.
මගේ shift එක පටන් ගන්නේ උදේ 07:30ට.මම මගේ office Laptop එක on කරන්නේ හරියටම උදේ 07:30ට. බැරි වෙලාවත් විනාඩියක් දෙකක් හරි වේලාසන office එකට ගියොත්, මම වෙලාව හරියනකල් එළියට වෙලා ඉන්නවා. කෑමට හරියට පැයයි. ඒ පැය ඇතුළේ ඉතින් මොනවා වෙලා තියෙනවා කිව්වාත් මම ආයේ ඒවා ගැන බලන්නේ කෑම පැයෙන් පස්සේ. Shift එක ඉවර වෙන්නේ හවස පහට. හරියටම හවස පහ වෙද්දින් මම Laptop එක පාත් කරනවා. Meetings වලදි පවා මම අතරමැද නවත්තලා ගෙදර ඇවිත් තියෙනවා. හිත හැදෙන්න අනිත් එවුන්ට ඒ වෙලාවට මම එක එක බොරු කියනවා.
"බස් එක පහට"
"මම ගෙදර ගිහින් ඉතුරු ටික බලන්නම්...."
"හෙට උදේ කලින් log වෙලා බලන්නම්...."
ඔය වගේ නොයෙක් කතා කිව්වාට මට වැඩි පුර ගෙව්වොතින් ඇරෙන්න විනාඩි පහක්වත් මම නම් රස්සාව කරන්නේම නෑ. හැබැයි ඉතින් අනිත් පැත්තට රස්සාව කරන්නේ පැය අටයි නම් ඒ පැය අටේ රස්සාව විතරක් කරන්න මම පුරුදු වුණා. වැඩ කරන වෙලාවේ අනිත් උන් එක්ක ඕපාදූප දෙඩවිලි, ඕහේ නිකරුණේ එකම වැඩේ පැය ගනන් කල් දැම්ම වගේ වැඩ නම් මම කරේම නැති තරම්. ඉදලා හිටලා පොඩි මනෝ පාරක් එහෙම ගැහුවා වුණත්, ඊට කලින් රස්සාවේ වැඩ ඉවර කරලා නිදහසේ කල්පනා ලෝකෙට යන එක තමයි මගේ පුරුද්ද.
ඔය කාරණා හින්දායි, වෙලාවටම එන යන එකට කටක් ඇරලා මුකුත් කියන්න බැරි හින්දායි ද කොහෙද මට කවුරුවත් මේ වෙනකල්ම ඒක ගැන ඇඟිල්ල දික්කරලා නෑ.
Law 2.
ගෙවන ගානට හරියන්න සේවය ලබාදීපං
මම ඉන්නේ ලොකු multinational group එකක BAU (business as usual) support team එකක. මගේ job role එකට අදාල, live system එකේ තියෙන bugs fix එක විතරයි. ඒ bug එකට ස්තීර උත්තරයක් දෙන එක මගේ job role එකේ නෑ. ඒ වුණාට මේ system එකේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් දීලා තියෙන්නේ. BAU teams වලින්ම තමයි, ඒක හින්දා corporate එක අපෙන් ගොඩක් අවස්ථා වල permant solution එකකුත් බලා පොරොත්තු වෙනවා.
හැබැයි එයාලා මොනවා කිව්වාත් මම කරන්නේ ප්‍රශ්නයක් ආවාම එවෙලට ඒක විසඳන එක විතරයි. සමහර වෙලාවල් වල මටම තේරෙනවා මෙකට මේක කරා නම් ආය මේ ගැටලුව එන්නෑ කියලා හැබැයි කිසිම වෙලාවක මම ඒක උන්ට කියන්න යන්නෑ. මොකද මට උන් ගෙවන්නේ ඒකට නෙවෙයිනේ. මට උන් ගෙවන්නේ අදාළ bug එක fix කරන්න විතරයි.
සමහර වෙලාවල් තියෙනවා, තියෙන ප්‍රශ්නේ ගැන ටික වෙලාවක් අරගෙන හිතුවොත් දැනට තියෙන එකට වැඩිය හොඳ විසඳුමක් ගන්න පුලුවන් කියලා මම හොදටම දන්නවා. හැබැයි මම වැඩි දුර හිතන්නෑ. මම හිතන්නේ උන් මට ගෙවන ගානට විතරයි. එතනින් එහාට office එකේ කිසිම දෙයක් ගැන මම හිතන් නෑ.උපරිම මම උත්සාහ කරන්නේ අර කට්ටිය කියන්නේ ' bare minimum’ කියලා, අන්න ඒක දෙන්න තමයි මම උපරිම උත්සාහ කරන්නේ.
මට හිතන්න පුලුවන් තරමේ සීමාව දන්නේ මම විතරයිනේ. එතකොට ඉතින් මම පුලුවන් කමක් තියාගෙන කරේ නෑ කියලා දන්නෙත් මම විතරයිනේ. ඒ හින්දා වෙන්න ඇති මට මේකටත් තවම නම් කිසිම පැමිණිල්ලක් ඇවිත් නෑ.ආවත් කරන්න දේකුත් නෑ. පුලුවන් මට්ටමටනේ සේවාව දෙන්න ඕන. ඊට වැඩිය ඕනෑ නම් ඉතින් වැඩිපුර ගෙවන්න එයාලා වගබලා ගන්න ඕනෑ.
Law 3(most important one)
රස්සාව ඇතුළේ යාළුකම් හිතවත්කම් නෑ.
මට රස්සාවේ යාළුවෝ, හිතවත්තු කියලා ජාතියක් නෑ.මට ඉන්නේ, co-workersලා නැත්තම් මාත් එක්ක එක office එකේ වැඩ කරන උන් කියලා ජාතියක් විතරයි. මේක නම් මම සෑහෙන අමාරැවෙන් තමයි කරගත්තේ. පොඩ්ඩ ඇත්තම් අමතක වෙනවා මේක මට. හැම තිස්සේම මතකේ තියාගෙන ඉන්න ඕනෑ.
කවුරුහරි මගෙන් උදව්වක් ඉල්ලපු ගමන් මම ඔලුවට දාගන්නවා මට මේකේ යාළුවෝ නෑ කියලා. උන්ට මම කරලා දෙන්නේ මම අදුරන්නැති එකෙකුට වුණත් කරලා දෙන මට්ටමේ උදව් විතරයි. ඊට වඩා දෙයක් දෙන්න නම් ඒක මට official විදියටම ඕනෑ. මගේ බොසාව හරි HR එක හරි CC එකේ දාලා උන්ගෙන් e-mail එකක් හරි ඕනෑ.
වෙන කාගේ හරි shift එකක් cover කරන්න වුණා නම්, උන්ගේ bug එකක් fix කරන්න වුණා නම් මම ඒක මතකේ විතරක් නෙවෙයි calander එකේ පවා notes දාගන්නවා. අනිත් පැත්තට වෙන එකෙක්ගේ උදව් මට ගන්න වුණොත් එකත් ඒ විදියටම note එකක් දාගෙන ඉඳලා උපරිම ඉක්මනට පියවලා දානවා. නැත්නම් හරි අමාරුයි මනුස්සයෝ එක්ක ගනුදෙනු කරන්න.
ඒ කාලේ මාත් එක්ක එකට training හිටපු ගොඩක් එවුන් දැන් අයින් වෙලා ගිහින් . ඉන්න කීප දෙනා එක්ක වුණත් මම දැක්කොත් හිනාවෙනවා ඇරෙන්න වචනයක්වත් කතා කරන්නෑ. අපිට කලින් හිටපු , පස්සේ ආව උන් එක්ක කියලාත් කිසිම වෙනසක් නෑ. අඩුමගානේ උන්ගේ teams වල පෙන්නන නම ඇරුණාම කිසිම විස්තරයක් මම දන්නෑ. දෙතුන් දෙනෙක්ගේ ෆෝන් නම්බර්ස් තියෙනවා, රස්සාවේ වැඩ වලටම අරන්. ඒ ඇරෙන්න උන්ව පාරෙදි දැක්කත් මම නම් දැක්කෙ නැති ගානටමයි යන්නේ. වැඩිය ඕනෑ නෑ, මාත් එක්ක වැඩ කරන එකෙක් ඉන්නවා ඌ හැමදාම මම යන බස් එකේමයි එන්නේ, අද වෙනකල් මම උගේ නමවත් හරියට දන්නෑ.
Year end party, New year celebration, office trip, weddings අරවා මේවා රටේ නැති උත්සව කිය කියා e-mail පණිවිඩ එහෙම අවාට මම නම් කිසි එකකට ගිහින් නෑ. කොටින්ම කිව්වොත් මට ඒකේ ඉන්න එවුන්ව අදාල සතියේ දවස් පහේ, උදේ හත හමාර- හව පහ ඇතුළෙ විතරයි. එතනින් එහා උන් ජීවත් වෙනවාද නැද්ද කියන එක එකවත් මට වැඩක් නෑ.
අපේ කැම්පස් එකේ,මාත් එක්ක එක faculty එකේ, එක batch එකේ හිටපු ගෑණු ළමයෙක් ඉන්නවා, දැන් මගේ team එකේ මාත් එක්ක වැඩ කරන. කැම්පස් යන කාලේ ඒ කෙල්ලට මගේ හිතේ පොඩි කැමැත්තකුත් තිබුණා, ඒ කාලෙ නම් ඒකි මාව බල්ලාටවත් ගනන් ගත්තේ නෑ. ඒකටත් එක්ක දැන්, ඒකිට මාත් එක්ක මාර batch fit එකක් තියෙන්නේ දැන්. කොයි වෙලෙත් ඕන්නැති වල්පල්මයි කියවන්න එන්නේ. ඒකිත් එක්කත් මම කිසි කතාවක් නෑ. System එකට අදාළයි නම් විතරයි ගනුදෙනුව. කතාව personal වෙච්ච ගමං මම මොකක්ම හරි කියලා මාරු. දැන්නම් ඒකිටත් ඒක තේරිලාද කොහෙද ඉස්සර තරම් කතාවට එන්නෑ.
නැති තැන නම් සැහෙන්න බනිනවා ඇති. හැබැයි මම නැති තැන වෙන දේවල් මට අදාළ නෑනේ. මම ඉන්න තැන නම් මේ වෙනකල් කිසි එකෙක් මගේ සමාජශීලිවත්වේ ගැන මුකුත් කියලා නෑ. ගොඩක් වෙලාවට මට හිතෙනවා, මම හරි ගුප්ත මනුස්සයෙක් කියලා උන් හිතාගෙන ඉන්නේ කියලා. හැබැයි ඉතින් උන් කොහෝම හිතුවත් මට ඒක කිසීම ප්‍රශ්නයක් නෑ. මම කරදරයක් නොවී ඉන්නවා නම් එච්චරයි.
Corporate life එකේ මම තාම ලපටියි. තව කල් යනකොට දේවල් කොහෝම වෙනස් වෙයිද දන් නෑ.
හැබැයි දැනට මම අවුරුදු තුනක් විතර මේ නීති අකුරට පිළිපදිනවා. එච්චර කාලයක් මම පිළිවෙළකට දෙයක් කරාමද කොහෙද. අද වෙනකල්ම මට රස්සාවේ කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ.
ලැබෙන ගාන නම් මදි තමයි. හැබැයි, මගේ අනිත් වැඩ වලට ගෙවලා දාන්න ඇති තරම් වෙලාව තියෙනවා.නැත්තම් ඉතින් පැය ගානක් වැය කරලා කිසි තේරුමක් නැතුව, හරියට audience එකක්වත් නැතුව මෙහෙම හෑල්ලක් ලියාවිද?
Job stress, anxiety වගේ වගේ වචන අහලා තිබුණාට, ඒවා රස්සාවල් කරන එවුන්ට හැදෙනවා කියලා දැනගෙන හිටියාට මට ඒවායේ තේරුමවත් හරියට දන්නෑ. මම දන්නේ මට රස්සාව හින්දා රැයක් දවාලක් නැතුව කල්පනා කරන්න වෙලා නෑ කිසිම දවසක. කොටින්ම කිව්වොත් සෙනසුරාදා ඉරිදා දවස්වලට මට රස්සාවක් තියෙනවාද කියන එකත් මට අමතකයි.
මම කරන ගොඩක් දේවල් නම් අනිත් උන්ට ප්‍රයෝගිකව කරන්න බැරුව ඇති. උන්ගේ දේවල් මගේ එවාට වඩා සංකීර්ණ ඇති. මොකක්ම හරි වාසනාවකට මගේ corporate life එක නම් හරිම සරලයි. දෙයියන්ගේ පිහිටෙන් ඒක ඉස්සරහාටත් ඇස්වහක් කටවහක් නොවැදි සරළ විදියටම තිබුණා නම් ඇති.
Comments
Post a Comment